තව ම සිත දෙගිඩියාවෙන් - වියෝ ගීතය....!




ඔහේ කොණක හිඳ
බලා හිඳිමි තව ම මම
අහෝ සෙනෙහස බිඳුණු සඳ
කෙලෙස සිත සනසාගම් ද කියා
අකලට බට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
සොවක් පමණි ඔබ ඉතිරි කළේ
හැමදා මා හා සෙනෙහසින් වෙලී..

පාසැල් මව් තුරුළේ පටන්
නුඹ හා බැඳි සොඳුරු ප්‍රේමයේ
අවසානය වෙයි ද හෙට
තව ම සිත දෙගිඩියාවෙන්..
සමාසිකයකින් මා හැර දමා යන
සමාසිකයකින් නැවත මා සොයා එන
විටෙක මෘදු වන විටෙක රළු වන
නුඹ විභාගය විභාගය විභාගය විභාගය විභාගය.....!


හෙට ට නියමිත සබ්ජෙක්ට් එක අමාරු වන්නට නියමිත හෙයින් ඒ වෙනුවෙන් මා හද පත්ළෙන් නැගෙන්නා වූ ශෝකාලාපයයි මේ......(හෙට එක්කෝ exam එක, නැත්තම් මම! )

ෆොටෝ එක : www.space4masti.com

16 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ලෝකයේ ලොකු ම බොරුව සහ ගොබෙල්ස් න්‍යාය...




‍පොඩි බොරුවට වඩා ලොකු බොරුවට පුහුදුන් මිනිසා සැනකින් ගොදුරු වේ. සුළු දේකට වුවද ‍පොඩි බොරු කීමට හැමෝම ප්‍රිය කරති. ලොකු බොරු කීමට කිසිදාක පෙළඹෙන්නේ නැත. වෙනත් කාටවත් ලොකු බොරු නිපදවන්නට ද බැරි බව විශ්වාස කරති. එම නිසා විශාල බොරුවලට ආයුෂ ද බොහෝ වෙයි .....

මේ තමයි ගොබෙල්ස්ගේ න්‍යාය පිළිබඳ ව ප්‍රකට ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ නිර්වචනය. බොරු කියන්න හොඳ නෑ කියලා අපි දන්නවා වුණාට, හැමෝම වගේ විහිළුවට හරි බොරු කියනවානේ. ඇත්ත ම කතන්දරේ නම් බොරු කියන්න හොඳ නැහැ කියන එක. ඒකෙන් ඇති කරන විපාකය හරි ම ප්‍රබලයි. දන්නවද මේ බොරු කියන එක දියුණු මට්ටමේ රැකියාවක තත්වයකට ගෙනාවේ කවුද කියලා... ඒ තමයි ජෝසප් ගොබෙල්ස්. අසත්‍ය හා සාවද්‍ය කරුණු කාරණා සත්‍ය හා නිරවද්‍ය කරුණු සේ පුනපුනා ඒත්තු ගැන්වීම යන මූලික සිද්ධාන්තයන් මතින් දේශපාලන ලොවෙහි ප්‍රතාපවත් චරිතයක් ලෙස කැපී පෙනීමේ න්‍යාය ලෝකයාට කියලා දුන්නේ මේ ජෝසෆ් ගොබෙල්ස්. ඒක කොයිතරම් වැදගත් ද කියනව නම් දේශපාලන විද්‍යාව පිළිබඳ ඉගෙනගන්න අය අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු පළමු පෙළේ අපූරු අත්පොතක් විදියටත් දේශපාලන විෂය ධාරාවන්ට මේ ගොබෙල්ස් න්‍යාය ඇතුළත් කරලා තියෙනවා.

ගොබෙල්ස් බොහොම බුද්ධිමත් කෙනෙක්. අධ්‍යාපන කටයුතුවලදී දක්ෂයෙක් වුණු ගොබෙල්ස්ට බොන්, වුස්බර්ග්, ෆීබර්ග් සහ හයිඩ්ල්බර්ග් යන ජර්මනියේ ඒ කාලයේ තිබූ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල හතරෙන්ම උසස් අධ්‍යාපනය ලබා සාහිත්‍යය හා දර්ශනය විෂයන් පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකර ගන්න පුළුවන් වුණා. ප්‍රවෘත්ති පත්‍රයක උප කර්තෘවරයකු ලෙස සේවය කරමින් ඉද්දි ගොබෙල්ස්ගේ ශූර බුද්ධිය සහ කපටි දේශපාලන ඥානය පිළිබඳ අසීමිත විදියට පැහැදුණු හිට්ලර් විසිහත් හැවිරිදි ගොබෙල්ස්ට ක්‍රි.ව. 1924 දී නට්සි පක්ෂ සාමාජිකත්වය ප්‍රදානය කළා.

මැතිවරණ ව්‍යාපාර ඇතුළු රජයේ සියලු ප්‍රචාරාත්මක කටයුතු දැඩි විශ්වාසයකින් යුතුව ආචාර්ය ගොබෙල්ස්ට හිට්ලර් පැවරුවා වගේ ම ගොබෙල්ස් ඒවා අකුරටම ඉෂ්ඨ කළා. 1932 අප්‍රේල් මාසයේ පැවැත් වූ ජනාධිපතිවරණයේදී ගොබෙල්ස්ගේ න්‍යායාත්මක ප්‍රචාරණය නොතිබ්බා නම් ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර්ට අන්ත පරාජයක් තමයි ලැබෙන්නේ. එහෙම වුණා නම් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් ප්‍රමාණයක් තවමත් ජීවතුන් අතර. ඊශ්‍රායලය කියලා රටකුත් නැතිවෙන්න තිබුණා. බලාගෙන ගියා ම දෙවන ලෝක යුද්ධෙට වගකියන්නෝන මේ ගොබෙල්ස් වගේ නේද!!! හිට්ලර්ගේ නට්සි ව්‍යාපාරයේ ‘හදවත’ හා ‘රත්‍රං මොළය’ ලෙස ලොකු මෙහෙවරක් ඉටු කළ නට්සි රාජ්‍යයේ මාධ්‍ය ඇමැති වූ ජෝසෆ් ගොබෙල්ස් නායකයාට ජීවිත පරිත්‍යාගයෙන් අවංකව, සෘජුව සිටි එකම මිතුරා කියලත් කියනවා. ගොබෙල්ස්ගේ ආකර්ෂණීය සංවිධානාත්මක ශක්තිය, විශ්මයජනක කූඨ බුද්ධිය හා ආවේගශීලී චතුර කථිකත්වයට කොයිතරම් හිට්ලර් ආකර්ෂණීය වුණා ද කිව්වොත් හිට්ලර් ආචාර්ය ගොබෙල්ස්ව ඇමතුවේ, “අපේ පුංචි ආචාර්යවරයා" කියලා. ගොබෙල්ස් වුනත් එහෙමයි හිට්ලර් ගැන හිතුවේ. “මම ඔහුට ආදරය කරමි. ප්‍රසන්න මනසක් හිමි ඔහු මගේ නායකයා වනු දැකීමට නිතර ප්‍රිය කළෙමි. ශ්‍රේෂ්ඨ බුද්ධිමතාට දැඩි සේ ගෞරව කරමි.” කියලා තමයි ගොබෙල්ස් හිට්ලර් ගැන කිව්වේ. හිතන්නකෝ කොහොමට බොරුව තියෙන්න ඇත්ද කියලා! ඒකට අපේ රටේ බොරුකාරයෝ, ළඟින්වත් තියන්න පුළුවන්ද...

දෙවෙනි ලෝක යුද්ධයේ අවසානය ළං වෙද්දී ම ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ පෙම්වතිය ඊවා බ්‍රෝන් සියදිවි නසා ගන්නවානේ. ඊටපස්සෙ හිට්ලර්ගේ සහ ඊවා බ්‍රෝන්ගේ මළ සිරුරු රුසියන් ෂෙල් වෙඩිවලින් හෑරුණු වළක තැන්පත් කරලා පෙට්‍රල් දාලා පුළුස්සලා තියෙන්නෙත් ගොබෙල්ස් ම තමයි. 1945 මැයි 01 දා ඔහුගේ දරුපැටවුන්ට විෂ එන්නත් කරලා බිරිඳටත් වෙඩි තියලා ගොබෙල්ස් තමන් ම වෙඩි තියාගන්නවා, තවදුරටත් නායකයාට සිය සේවය ලබාදීමට නොහැකි වන නිසා සතුරන්ට සේවය කරනවාට වඩා සිය බිරිය සමග දරු පැටව් හය දෙනාත් එක්ක සිය නායකයාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර අබියසම මියැදීම වඩාත් සුවදායකයි කියලා හිතලා.

මේ තමයි ගොබෙල්ස් න්‍යායන්.....

1. බොරුව හිතන්නවත් බැරි තරමටම විශාලවන වූ විට එය සත්‍යය යයි ඔප්පු කිරීම පහසුය. ඊට හේතුව විශාල බොරුවක් ප්‍රචාරය කිරීමට කවුරුත් උත්සහ නොකරන නිසා එය ඇත්ත විය යුතුයි කියලා මිනිස්සු විශ්වාස කිරීමට පෙළඹීමයි.

උදාහරණ විදියට අපේ රටේ ඒවා ම ගමුකෝ... සෝමවංශ සහෝදරයාගේ කොම්පියුටර් ජිල්මාට් කතාව, ජෙනරල් ෆොන්සේකා ගේ සුදු කොඩි කතාව, ජනාධිපතිතුමා ගේ ආසියාවේ ආශ්චර්යය වගේ ඒවා. මිනිස්සු හිතන්නේ අපි නොදන්න මොනාහරි ඕක ඇතුළේ ඇති, ඔය ලොකු ලොක්කෝ මොනවාහරි දැනගෙන තමයි ඔහොම කියන්නේ කියලා මිනිස්සු හිතනවා, හැබැයි කවදාවත් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නෑ......

2. ලොකු ම බොරුව ඇත්ත කරන්න නම් ඒක බොහෝ වාරගණනක් නැවත නැවත කීම සහ සමාජයේ පිලිගත් චරිත ලවා පුනරුච්ඡාරණය කරවීම.

ලංකාවේ නම් මේක සුපිරියට ම වෙනවා නේද... ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා, පියතුමන් ලා, වෙනත් ආගමික පූජකයන් ලවා අදහස් ප්‍රකාශ කෙරෙව්වා ම මිනිස්සු ඒ ගැන හිතන්න ගන්නවා. මේ අයත් මේක පිළිගන්නවා නම් අනිවාර්යෙන් ම මේක ඇත්ත වෙන්නෝන කියලා. සමහරවිට අර පුද්ගලයෝ දන්නෙවත් නැතුව ඇති මේ යට සැඟවුණු ක්‍රියාදාමයක් තියෙනවා කියලා.

3. ප්‍රචාරණයෙන් ඇතිවන ප්‍රතිඵල, සැලසුම් කිරීමේදි ම සලකා බලයි.

4. බොරුව ඍජුව ම විරුද්ධ වන්නන්ගේ ප්‍රතිපත්ති වලටම එල්ල කරයි.

මේ වගේ කතන්දර තව මහ ගොඩක් ගොබෙල්ස් කියලා තියෙනවා. මේ වැදගත් ම කියලා හිතෙන ටිකක් තෝරලා දැම්මේ! ගොබෙල්ස් නම් මේ දේවල් සුපිරියටම කරලා තියෙනවා. නැත්තම් ඉතින් හිට්ලර් ජර්මනියේ අසහාය පාලකයා වෙන්නේ නෑනේ නේද! හැබැයි ඉතින් ලංකාවෙත් පොඩි පොඩි ගොබෙල්ස් ලා ඉන්නවා, ඒ වගේ වෙන්න උත්සහ කරන, හැබැයි ඒ ළඟින්වත් යන්න තරම් හැකියාවක් නැති. ඒ වගේ ම ගොබෙල්ස් ගැනවත් ගොබෙල්ස් න්‍යායන් ගැනවත් හාංකවිසියක් වත් නොදන්න බහුතරයක් ලංකාවේ මිනිස්සුත් ඉක්මනටම රැවටෙනවා අපරාදේ කියන්න බෑ! උඩින් දාලා තියෙන ඡායාරූපයේ වම් පැත්තේ ඉන්නේ ඇඩොල්ෆ් හිට්ලර්, දකුණු පැත්තේ ඉන්නේ ජෝසප් ගොබෙල්ස්.

ෆොටෝ එක ඉස්සුවෙ: www.hermiteese.deviantart.com

උදව් කළේ : ලක්බිම, විකිපීඩියා සහ psywarrior

23 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

සම්මානය (කෙටිකතාව)


"පුතේ... මෙන්න ලියුමක් ඇවිල්ලා, රතු පාට එකක්. හමුදාවෙන් වෙන්ටැ මයේ හිතේ". ලියුමක්! මට ලියුම් කොහෙන් එන්නද, මම ම දාගත්තොත් මිසක්. මම මට ම කියාගත්තෙමි. ඊයේ රාත්‍රිය පුරා බසයේ පැමිණ නිවසට ළඟා වූයේ අද පාන්දර 5 ට පමණ ය. පැමිණි විගස ම ඇඳුම් ගලවා දමා හුරු පුරුදු සරමට මාරු වුණේ අඩියට දෙකට ළිඳට ගිහින් මුණ කට සෝදා යන්තම් ඇඳට පැනීමටයි. පැය හතරක පහක පමණ සුව නින්දක් ලැබූ මා නැවත පිබිදුණේ අම්මාගේ ලියුම ගැන වූ කතාව නිසා ය.

මා හමුදාවට බඳවාගත් බවත් වහා ම හැරෙන තැපෑලෙන් පනාගොඩ යුධ හමුදා කඳවුරට වාර්තා කරන ලෙස දන්වා මීට සය වසරකට පෙර ලැබූ ලිපිය හැරෙන්නට අප නිවස මා නමින් ලිපියක් පැමිණ නැත. මා වහා ම ඇඳෙන් බිමට පැන්නේ ලිපිය කුමක්දැයි විමසා බලනු පිණිස ය. පියා මිය යන විට පාසලේ උසස් පෙළ හදාරමින් සිටි දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ මා හට, ඉන් පසු මා ද ඇතුළු නැඟණියන් දෙදෙනා ජීවත් කරවන්නට අම්මා දැරූ උත්සහය අද මෙන් මැවී පෙනේ. වරෙක තේ වත්තේ කුලියට දලු නෙලන ඈ තවත් දිනෙක එහෙන් මෙහෙන් එකතු කරගත් එළවළු ටිකක් කූඩයක තබාගෙන ගම පුරා ඇවිද යයි. ගමේ වසනා දුප්පතුන් ගේ ගණයට වැටී සිටි අපට හිමි ව තිබුණේ අප පදිංචි ව සිටි ටකරං හෙවිල්ලු ගේ පොඩිය පමණි. වෙහෙසකර දිනක අවසානයේ ඈ නිවසට ගොඩවන්නේ අප සිව්දෙනාට කන්නට පාන් ගෙඩියක් ද රැගෙන ය. කොහෙන් හෝ සොයාගත් පොල් අඩලයකින් ලොකු නංගී පරිප්පු හොද්දක් සාදා තබන්නී අම්මාගේ වෙහෙස මඳක් හෝ අඩු කරනු පිණිස ය.

අප නින්දේ දැයි බලා කාටත් හොරෙන් ඉලිප්පී ගැට ගැසී ගිය නහර සහිත දෙපා වල තෙල් ගල්වන්නේ ඇගේ අසනීප අපෙන් සැඟවීමට බව මට රහසක් නොවේ. ඒ ද ඇතුළු ව බොහෝ දිනවල මා නිදි වර්ජිත ව රැය පහන් කරන නිසා ම ඇගේ සිහින් කෙඳිරිය මා අසා සිටි බව ඈ නොදන්නීය. මෙය තවදුරටත් දරා සිටීමට නොහැකි තැන මා කළේ හමුදාවට බැඳෙන්නට අයදුම්පත්‍රයක් යැවීමයි. අම්මා නිවසේ නොසිටි දිනෙක සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන ලෙස දන්වා එවූ ලිපිය අතට ම ලබාගත් මා දෙවනු ව කළේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමයි. තාත්තාත් සමඟ ඒ කාලයේ වෙළඳාමට කිහිප වරක් මැනිං මාකැට්ටුවට ගොස් ඇති නිසා පනාගොඩ යුධ හමුදා කඳවුර සොයා ගැනීම ඒ තරම් අපහසුවක් නොවුණා සේ ම සම්මුඛ පරීක්ෂණය ද පහසුවෙන් සමත් වීමට හැකි විය. සියල්ල ගිනිගත්තේ ඉන් පසුව ය. සේවයට වාර්තා කරන ලෙස දන්වා එවූ ලිපිය අම්මා අතට පත් වීමත් සමඟ නිවස යුද පිටියක් බවට පත් වූයේ ක්ෂණිකවම ය. හැඬීමෙන් ඉදිමුණු දෙනෙත් ඇතිව වුව ද අම්මාගේ අවසරය ලබාගන්නට මම සමත් වීමි.

"තමාගේ සිරුරට වෙඩි වැදීමෙන් සිදු ව ඇති හානිය නොසලකා තම උසස් නිළධාරියෙකුගේ ජීවිතය බේරා ගැනීමට දැක්වූ කැපවීම වෙනුවෙන් යුධ හමුදාපති තුමාගේ නිර්දේශය මත සක්‍රීය සේවයේ යෙදී සිටින සෙබළෙකුට ලැබෙන උසස් ම සම්මානය වන වීර වික්‍රම විභූෂණ සම්මානය අතිගරු ජනාධිපති තුමා විසින් ඔබට ප්‍රධානය කරන්නට නියමිත ව ඇත."

ලිපියේ සටහන් වී තිබුණේ එවැන්නකි. වෙනත් කෙනෙකුට නම් මෙය දැකීම මහත් ප්‍රහර්ෂයක් ගෙන දෙන්නක් වුව ද මට එසේ දැනුනේ දැයි යන්න සැකයකි. එම සිදුවීම වී දැන් වසරකට ආසන්න කාලයක් ඉක්ම යන්නට ළං ව ඇතත් එය අද සිදුවූවාක් මෙන් මට මැවී පෙනේ. මා හැරෙන්නට සියළු දෙනාට ම එය මහත් වීර ක්‍රියාවක් වුව ද එය මා මනසට ගෙන දෙන්නේ මහත් පීඩාවකි. එය කිසිවෙකුට කියන්නට හැකි නම් මහත් සහනයක් විය හැකි ව තිබුණු නමුදු ඒ නම් උඩ බලාගෙන කෙළ ගසා ගැනීම ඊටත් වඩා යහපතකැයි මසිත හඬ ගා කියයි. අද පැමිණි මෙම ලිපිය සුව වෙමින් තිබූ තුවාලයක් නැවත පාරමින් එතුලට ලුණු කැටයක් එබුවා සේ මට දැනේ. "අවංක කම තමයි පුතේ හොඳ ම ප්‍රතිපත්තිය" කියූ තාත්තා මට සිහි වන්නේ නිතැතිනි. කිසිවෙකුට කියන්නට නොහැකි කතාව ගස් බෙනයකට හෝ පවසා ඉන් මිදෙන්නට හැකි නම්....

මේ සිදුවීම වූ කාලයේ මා කෝප්‍රල් නිලයේ සිටි අතර සේවය කළේ ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරට අනුයුක්තව ය. පසුදින මෙහෙයුමකට සූදානම් වන ලෙස දන්වා නියෝගයක් ලැබුණු අතර පසුදින භටයන් 140 දෙනෙක්ගෙන් යුත් සේනාංකයක් ත්‍රස්තයන් සොයා ගමන් ඇරඹුයේ ම මම ද ඔවුන්ගෙන් කෙනෙක් වීමි. යුධ මුක්ත කලාපයේ පිහිටා තිබූ රතුකුරුස කඳවුර පසුකරමින් ගිය අපි එතරම් පරීක්ෂාකාරී නොවූයේ බුද්ධි අංශ විසින් මේ පෙදෙස ගැන අනතුරු හඟවා නොතිබූ හෙයිනි. එක්වරම පස් කන්දක් උඩින් මතු වූ ත්‍රස්තයන් දිගට හරහට වෙඩි තබන්නට වූයේ අපට සිතාගැනීමටවත් කාලයක් ඉතුරු නොකරමිනි. වෙඩි වැදී බිම වැටුණවුන් අතරට මමත් එක්වූයේ වම් පාදයට සහ දකුණු උරහිසට වැදුණු වැදුණු වෙඩි පහරවල් කිහිපයක් සමඟිනි. වෙඩි වැදුණද වැඩිවේලා එතැන සිටීම නුවණට හුරු නොවූයේ ත්‍රස්තයන් නොනවත්වා ම වෙඩි තබන හෙයිනි. සහෝදර සෙබළුන් ගේ සිරුරු අතරින් රිංගමින් පරීක්ෂාකාරි ස්ථානයක් සෙවූ මට දකින්නට ලැබුණේ ඈතින් පිහිටි රතුකුරුස කඳවුරයි. මීටර් 150 ක් පමණ දුරින් විවෘත භූමියක පිහිටි එතැනට ළඟා වීම නම් කිසිලෙසකවත් සිදු කළ නොහැක්කකි. නමුත් අම්මා, නංගිලා වෙනුවෙන් මා ජීවිතය බේරාගත යුතු ය. කෙසේ හෝ සිරුරු අතරින් රිංගා යමින් මීටර් 50ක් පමණ ගිය තැන මා හට කදිම අදහසක් පහළ විය. තුවක්කුව සහ සෙසු බර ඉවත් කළ මා සැණෙකින් සහෝදර සෙබලෙකුගේ සිරුරක් කරපින්නාගෙන එය ආවරණයක් ලෙස තබාගනිමින් වෙඩි පහරවල් අතරින් ම එළිමහන් බිම රතුකුරුස කඳවුර වෙත දිවීමි.

නැවත සිහිය ලැබෙන විට මා සිටියේ අනුරාධපුර යුධ හමුදා රෝහලේ ඇඳක් මත ය. බොහෝ නිළධාරීන් සහ සෙබළුන් මා ඇඳ වටකරගෙන සිටි අතර මා හට බොහෝ සුභාශිංසන සහ මල් පොකුරු හිමි විය. බොහෝ ඡායාරූප ශිල්පීන් මාගේ ඡායාරූප ලබාගත් අතර පසුදින ඒවා පුවත්පත් වලද දකින්නට තිබුණි. ඒ අතර ම මා හට සාජන් නිලයට උසස්වීමක් ද හිමිවිය. පසු ව දැනගත් පරිදි මා එදින ඔසවාගෙන විත් තිබුණේ මුහුණට වෙඩි වැදී සිහි මුර්ඡා වී සිටි කඳවුරේ අණදෙන නිළධාරී කර්නල්වරයාගේ සිරුරයි.

ලෝකය රවටමින් ගන්නා සම්මානය ගෙදරට ගෙනා කළ එය නිතර දෙවේලේ දැකීම මට මහත් හිසරදයක් වනු නොඅනුමානය. එහෙයින් අවංක බවේ ප්‍රතිමූර්තියක් වූ තාත්තාගේ රුව සිතේ මවා ගනිමින් මා මේ සැරසෙන්නේ සම්මානය ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක අමාත්‍යංශය වෙත ලිපියක් ලිවීමටයි.....

…~~~~~ සමාප්තයි ~~~~~

ප.ලි: ඔන්න මමත් තුන් කුළුදුලේ ම කෙටිකතාවක් ලිව්වා, මීට සමාන සිද්ධියක් දෙවන ලෝක යුද්ධ කාලයේදී දකුණු අප්‍රිකාවේ දී බ්‍රිතාන්‍ය හමුදා නිළධාරියෙකුට වුණා, ඒ සිද්ධිය පදනම් කරගෙන ගෙතූ කතාවක් මේ! මේ දවස් වල එක්සෑම් නිසා වෙනදටත් වැඩියෙන් බ්ලොගේ ලියවෙනවද මන්දා...අදත් එකක් තිබ්බා! කියවලා බලලා කියන්නකෝ කොහොමද කියලා, ඇත්ත ම කියන්න කමක්නෑ, මට දුක හිතෙන්නෙ නැතෝ!

18 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Dating සහ date rape pills....



ම්ම්ම් ඩේටින්...ඩේටින්! ඩේටින් කියන්නේ මොකක්ද? මේකට හරියන සිංහල වචනයක් නම් හම්බවුණේ නෑ මට. පිටරටවල නම්, ඒ කියන්නේ ගොඩක් වෙලාවට බටහිර රටවලට මේක අළුත් දෙයක් නොවුනට ලංකාවට නම් තරමක් අළුත් වචනයක්. අළුත් කියලා කිව්වට වචනේ විතරයි, ඒකෙන් තියෙන දේවල් නම් ලංකාවේ මිනිස්සු පටන් ගන්න ඇත්තේ සුද්දටත් කලින් වෙන්නෝන...හිච්චි සන්දියේ ඉඳන් එකට වැලිබත් උයලා කෝම්පිට්ටු හැදුව පුංචි වුන් සෙට් එකෙන් ඉබේටම හැලිලා, සිරිපාලගේ කරදඬු උස්මහත් වෙලා තනියම හේනක් කොටාගන්න පුළුවන් තරමට, රන්මැණිකා සාර සුබාවට පීදෙන නෑඹුල් තලමලක් වගේ දිස්නේ ගහන කාලෙට අනිත් අයගෙන් වෙන්වෙලා සිරිපාලයි රන්මැණිකායි ගමේ අයිනෙන් ගලාගෙන යන පුංච් දොළ පාරට කකුල් දෙක දාගෙන, ගමේ ඉන්න අබිලියොන් ගෙන වහං වෙලා කුටු කුටු ගාලා ඒ කාලේ කලෙත් ඩේටින් තමයි ඕං!

ඩේටින් කියන එකේ සරල ම තේරුම මට දැනෙන විදියට නම් දෙන්නෙක්, බොහෝවිට කෙල්ලෙක් සහ කොල්ලෙක් එකිනෙකාට කිසියම් ආකර්ෂණයක් ඇතිවෙලා එකිනෙකා ගේ ඇසුර පතන එක තමයි. එතනදි ඒ කාලය බොහෝ විට යොදාගන්නේ දෙන්න තවතවත් හඳුනාගන්න (සහකරුවෙක් විදියට සුදුසු ද කියලා බලන්න)සහ බැඳීම ශක්තිමත් කරගන්න. ඒකට චැට් කරන්න, SMS, MMS යවන්න, රෑ එළි වෙනකල් නිදිමරාගෙන කෝල් කරන්න, එතනිනුත් එහාට ගිහින් ඇවිදින්න යන්න, ෆිල්ම් එකක් බලන්න යන්න වගේ සමාජ ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන්. සමහරු ආදරේ වැඩිකමට ඊටත් එහා යන වෙලාවල් තියෙනවා.

ඊටත් එහා යන වෙලාවල් ගැන කියන්න තමයි හදන්නේ දැන් මේ. ගොඩක් වෙලාවට මේ දේවල් වැදගත් වෙන්නේ ගෑණු ළමයින් ට තමයි. අඳුරගෙන මාසෙන් දෙකෙන් එහෙමත් නැත්තම් මාස හතර පහකින් රූම් එකකට යන්න ඔයාට කතාකරනවා නම් මට දැනෙන විදිය එතන ආදරයට වඩා තියෙන්නේ වෙන මොනාහරි සැඟවුණු හැඟීමක්. ගොඩක් කෙල්ලො මේක දන්නවා, ඒත් එයාලා බයයි බෝයිෆ්‍රෙන්ඩ් තරහා වෙයි, දාලා යයි කියලා. ඉතින් අදාළ පුද්ගලයා තමන්ගේ අවශ්‍යතාවය හැඟීම් වලට මුවා වෙලා බොහොම පහසුවෙන් ඉෂ්ඨ කරගන්නවා. ඊටත් වඩා කණගාටුදායක දේ තමයි ඔය අවස්ථා ඡායාරූපගත වීම සහ වීඩියෝගත වීම. මේ දේ තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා හිතාගෙන ඉන්න කෙනා අතින් වෙන වෙලාවල් තියෙනවා වගේ ම සැඟවුණු කැමරා ත් කරනවා.

ඔන්න දැන් තමයි මාතෘකාවට අදාල ව කියන්න යන්නේ! දැන් ටික කාලෙක ඉඳන් ට්‍රෙන්ඩ් එක තමයි pills පාවිච්චි කරන එක. හදිස්සියේ බස් එකේදි එහෙමත් නැත්තම් මිස්ඩ් කෝල් එකකින් හමුවෙන පෙම්වතුන් මේ ක්‍රමය බහුල ව යොදාගන්නවා. කොහෙට හරි එක්කරගෙන යනවා කතාකරන්න, දෙනවා මොනාහරි බොන්න, කෙල්ලට සිහි නැතිවෙනවා. එතනින් එහාට කියන්න ඕන නෑනේ. date rape drugs විදියට ගොඩක් ම භාවිතා වෙන්නේ ඇල්කොහොල් අඩංගු පාන වර්ගයි. මීට අමතරව GHB(gamma-hydroxybutyric acid) සහ benzodiazepines නිද්‍රාජනක බෙහෙත් පෙති දියකරලා වෙනත් බීමකට මිශ්‍ර කරලා බොන්න දෙන එක සුලබයි!

මේ හැමදේම වෙන්නේ එකිනෙකා මත තියෙන විශ්වාසය අනුවයි. මොකද කාටවත් තව කෙනෙක් ව කාලා බලන්න බෑනේ කොහොමද කියන්න. අනිත් එක විශ්වාසය මනින්න මිනුමකුත් නෑ, උපකරණයකුත් නෑ. දෙමව්පියො-දරුවෝ, යාළුවෝ, සැමියා-බිරිඳ... වගේ හැම සම්බන්ධතාවයක් ම පවතින්නේ විශ්වාසය කියන ශක්තිමත් පදනම උඩයි. මේ පදනම මොනාහරි හේතුවක් නිසා බිඳුනොත්, ඉරිතැලුවොත් ඒ උඩ තියෙන හැමදෙයක් ම සෙලවෙනවා යම් තරමකට හරි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ "විශ්වාසා පරමා ඥාතී" කියලත්.

ප.ලි 1: අපේ එක්සෑම් පටන් ගත්තනේ, බොහොම අමාරුවෙන් සබ්ජෙක්ට් එකක් අද ඉවර වුණා. එන්න හම්බ වුණෙත් නෑ බ්ලොගේ පැත්තේ... කස්ටිය ඔය උඩ තියෙන ජාති ට්‍රයි කරනව එහෙම නෙවෙයි ඕං නින්ද යනවද බලන්න. ඔය දාලා තියෙන්නේ ඖෂධ නාම විතරයි, වෙළඳ නාම දැම්මේ නෑ මම!!!!

ප.ලි 2: මේ ගැන ලිව්ව මුල් පෝස්ට් එකේ පොඩි තාක්ෂණික දෝෂයක් නිසා ඒ පෝස්ට් එක අයින් කරන්න වුණා. ඒකට කමෙන්ට් කළ ඇත්තෝ කමා කරත්වා!

ෆොටෝ එක ගත්තේ: http://www.howtogetoverarelationship.com/wp-content/uploads/2011/10/Free-Online-Dating.jpg

26 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අපි නොදන්න EPF -2



කලින් සතියෙ අපි කියෙව්වේ EPF ගැන නේ. අද මේ කියන්න යන්නේ ETF ගැන. කලින් පෝස්ට් එක බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලලා ම එන්නකෝ, ඒක තවත් උදව්වක් වෙයි මේ ටික කියවගෙන යද්දි. කලින් පෝස්ට් එක ගොඩක් අය කියවලත් තිබුණා වගේ ම අදහස් දක්වලත් තිබුණා, ස්තූතියි ඒ හැමෝටම! අද කොටසත් කියවන්නකෝ එහෙනම්...

2. ETF (Employee's Trust Fund) සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල

ETF (Employee's Trust Fund)එහෙමත් නැත්තම් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල විශේෂයෙන් ම නිර්මාණය කරලා තියෙන්නේ විශ්‍රාම වැටුප් සහ EPF මඟින් ආවරණය නොවන රැකියා සඳහායි. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, පුද්ගලික අංශයේ සියළු දෙනා අනිවාර්යෙන් ම ETF Board එකේ සාමාජිකත්වය ලබා ගන්නෝන. ඒ වගේ ම කැමති නම් ස්වයං රකියා කරන අයටත් කැමති නම් දායක වෙන්න පුළුවන්. ඒ අතරට කර්මාන්ත, ව්‍යාපාරික, ව්‍යවසායක, නීති, විදේශ ශ්‍රමික, ප්‍රවාහන රැකියා විදියට ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් EPF ගෙවිය යුතු සේවායෝජකයෙක් යටතේ වැඩ කරන සේවකයෙකුට ETF හිමිකමත් තියෙනවා. ඒක ගෙවන්න ඕන සේවායෝජකයා තමයි. ඒ සේවකයාගේ වැටුප වගේ 3%ක්. එතකොට මාසයක් අවසානයේ සේවායෝජකයා මාසය අන්තිමට 15% ක් සහ සේවකයාගෙන් 8% ක් විදියට සම්පූර්ණයෙන් 23% ක් ගිණුමට යනවා. එහෙම නැතුව ස්වයං විදියට ETF සඳහා දායක වෙනවා නම් අවම රු 200 ක මුදලක් මාසයකට ETF ගිණුමට බැර කරලා දායක වෙන්න පුළුවන්.

මේකේ වාසි විදියට ගත්තොත් හැම අවුරුද්දක් අවසානයටම පොලිය සහ ලාභාංශ ගිණුමට එකතු කරනවා EPF වල වගේම. හැබයි ඉතින් කවුරුහරි එකදිගට මාස පහක කාලයක් ඇතුළත එකදිගට මාස 3ක් මුදල් ගෙවලා තිබුණේ නැත්තම් පොලිය සහ ලාභාංශ ගිණුමට එකතු වෙන එක වලකිනවා. ඒ වගේ ම උපරිම රු 50,000/= ක ජීවිත රක්ෂණයක්, උපරිම රු 200,000/= ක ස්ථීර හා පූර්ණ ආබාධිත රක්ෂණයක්, හදවත් සැත්කම් සහ වකුගඩු බද්ධ කිරීම් සඳහා උපරිම රු 150,000/= ක මුදලක්, ඇසකට උපරිම රු 9,000/= ක කාච බද්ධ කිරීම් ආවරණයක්, උපරිම රු 50,000/= ක නිවාස ණයක් වගේ ම රු 15,000/= ක ශිෂ්‍යත්ව මුදලකුත් ලැබෙනවා ගිණුම් හිමියන්ගේ දරුවන් පහේ ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් වුණොත්.

3. Gratuity:පාරිතෝෂික දීමනා

දීමනා සේවකයන් ට ලැබෙන්නේ 1983 අංක 12 දරන …පාරිතෝෂික දීමනා පනත යටතේයි. සේවකයෙක් සේවයෙන් ඉවත් වෙලා යද්දි මේ පාරිතෝෂික දීමනාව ලබාගන්න හැකියාව තියෙනවා. ඒකට සේවකයා කරුණු දෙකක් සම්පූර්ණ කරලා ඉන්නෝන. පලමුවෙනි එක තමයි සේවකයා වසර පහක සේවා කාලයක් සම්පූර්ණ කරලා ඉන්නෝන. ඒ වගේම සේව්‍ය ස්ථානයේ අවම සේවක සංඛ්‍යාව 15කට නොඅඩු වෙන්නෝන. සේවකයන් 200කින් විතර පටන් අරන් අන්තිමට සේවකයෝ සංඛ්‍යාව 10කට විතර අඩු වෙලා බංකොලොත් වෙන තරම් වුනත් අනිවාර්යෙන් ම සේවා යෝජකයා පාරිතෝෂික දීමනා ගෙවන්න බැඳිලා ඉන්නවා. පාරිතෝෂික දීමනාව තීරණය වෙන්නේ මෙහෙමයි.

පාරිතෝෂික දීමනාව = 1/2* අවසන් මාසික වැටුප* සේවා කාලය(අවු)

සාමාන්‍යයෙන් පාරිතෝෂික දීමනා ගෙවීමේ දී ඒකෙන් මුදල් කපාහැරීමක් සිද්ධ වෙන්නේ නෑ අවස්ථා 03 කදී හැර.

1. Willful damages (සිතාමතා කළා යැයි සලකන හානි)
2. Frauds (වංචා/දූෂණ)
3. Misappropriations (අයුතු අත්පත් කරගැනීම්)

සේවකයෙක් සේවයෙන් ඉවත් වෙලා මාසයක් ඇතුලත සේවා යෝජකයා විසින් පාරිතෝෂික දීමනා ගෙවන්නෝන. එහෙම නැති වුණොත් ආයෙමත් කම්කරු කොමසාරිස් ට පැමිණිලි කරන්නෝන.

ඔන්න ඉතින් EPF, ETF, Gratuity කතන්දර ටික ඉවරයි. අපෝ.. ලොකු දෙයක්ද! බලාන ගියාම සේවකයන්ගේ දෙවියා විදියට ඉන්නේ කම්කරු කොමසාරිස් වරයා නේද? බැරිවෙලාවත් එයා පොඩ්ඩක් අල්ලසට දූෂණයට එහෙම ගියොත් සේවකයන්ට දෙවියන්ගෙම පිහිටයි. කම්කරු විනිශ්චය සභාවෙන් තමයි සාමාන්‍යයෙන් පැමිණිලි විභාග කරන්නේ. EPF, ETF, Gratuity වල තියෙන ලොකුම අවාසිය තමයි විශ්‍රාම වැටුපට සාපේක්ෂ ව උද්ධමනයට (Inflation) ලක්වෙන එක. ඒ කියන්නේ, අපි දැන් රු 20,000ක් ඉතිරි කරලා තව අවුරුදු 30කින් විතර ඒ මුදල අතට ගත්තට ඒ මුදලේ අර 20,000 ක වටිනාකම නෑ. සරලව ම කිව්වොත් ඒ කාලේ රු 20,000 න් කරන්න පුළුවන් වෙලා තිබුණ වැඩ අවු 30 කට පස්සෙ කරන්න වෙන්නේ 50,000 කින් විතර තමයි. ඒ ලංකාවේ රුපියලට තියෙන හැකියාවන් වලට පින්සිද්ධ වෙන්න තමයි. ඒත් ඉතින් ඒකට කරන්න දෙයක් නෑ අවාසනාවකට.

රජයට උද්ධමනය පාලනය කිරීමේදී වැදගත් සාධකයක් තමයි මේ EPF, ETF, Gratuity මුදල්. මොකද මේ මුදල් මහ බැංකුවේ ස්ථීර වම තැන්පත් වෙලා තියෙන කාටවත් ම(ආණ්ඩුවට වත්) හොල්ලන්න, අත තියන්න බැරි මුදලක් නිසා. රජය පහුගිය කාලේ පුද්ගලික විශ්‍රාම වැටුප් පනතක් ගෙනත් ඔය මුදල රජයට පරිහරණය කරන්න පුළුවන් වෙන විදියට (කොටස් වෙළඳපොළේ ආයෝජනයට නීති හදන්න තමයි උත්සහ කළේ) මතකයිනේ ඒකට විරුද්ධ ව හැමෝම පාරට බැස්සේ, කටුනායක රොෂේන් ගේ ජීවිතේ බිලිගත්තෙත් ඔය සල්ලි ටික බේරගන්න ගිහින් තමයි. ඒකට වැඩ කරන ජනතාවගේ උත්තමාචාරය හිමි වෙන්නෝන මට නම් හිතෙන විදියට.

මේ පෝස්ට් එක ලියද්දි විශේෂ ස්තූතිය අපිට HRM lectures කළ රසික සර් ටයි. මොකද HRM ආස හිතෙන subject එකක් බවට පත්කළේ සර්. ඒ වගේ ම මේ ගැන තියෙන අඩුපාඩු, විවේචන, අදහස් එහෙමත් කියලා ම යන්න. මේ වගේ දේවල් වලට ඔයාලා කැමතියි කියලා හිතුණොත් තවත් මේ වගේ දේවල් ගැන ලියන්න පුළුවන් එතකොට මට.....


ෆොටෝ එක ගත්තේ: http://www.srilankamirror.com/english/the-news/278-protest-against-amendments-to-epfetf-act

18 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මාර වැඩ කරන මාරයා...



අපිට මාර සීන් එකනේ වුණේ, ඒක නම් මාර වටිනවා, අද මාර කේස් එකක්නේ වැටුණේ, එද්දි මාර වැඩක් වුණානේ, ඌ මාර ගැහිල්ලක්නේ ගහන්නේ, මාර නෝන්ඩියක්නේ වුණේ, ඒ යකා මාර මිනිහෙක් නේ, මාර කෑමක් තමයි කෑවේ... වගේ මාර වචන ගොඩක් තියෙනවා මාරයා ගැන. හැබැයි කවුරුවත් වරදවා තේරුම් ගන්න එපා මේ කියන්න යන්නේ උතුරු පළාතේ බයිසි මොටෝවෙන් කරක් ගහන, මාරයාගේ හෝරාව ලියන මාරයා අයියා ගැන එහෙම නෙවෙයි ඔන්න! මේ කියන මාරයා උතුරු පළාතේ විතරක් නෙවෙයි ලෝකේ පුරා අස්සක් මුල්ලක් නෑර ම යනවා, දවසක අනිවා අපි ළඟටත් එනවා.

අද නවම් පුර පසළොස්වක පෝය දවස. ඒ නිසා ම ලියැවුණු සටහනක් මේ. කියන්න යන්නේ යහපත් දේට නිතර ම බාධා කරන වසවර්ති මාරයා ගැනයි. අහලා ඇතිනේ නේද ඔයාලා. යහපත් දේ ට බාධා කරන්න මාරයා ට ඉන්නවා මාර සේනාවක්. කාමය, අරතිය, බඩගින්න හා පිපාසය, තණ්හාව, නිදිමත ගතිය, සැකය, බිය ... ආදී වශයෙන් දහ දෙනෙක්ගෙන් සමන්විත සේනාවක් තමයි ඒ. අපි දස මාර සේනාව කියන්නෙත් ඒකට තමයි. අපි බලමුකෝ මාරයා කියන්නේ කවුද කියලා. මාරයා කියන්නෙත් ශක්‍ර දෙවියන් වගේ ම එක්තරා තනතුරක්. ශක්‍ර දෙවියන් සම්‍යක්දෘෂ්ඨික චරිතයක් වෙන අතර ම මාරයා කියන්නේ මිථ්‍යාදෘෂ්ඨික චරිතයක්. අපි තනතුරක් දරද්දි ඒකේ කාලය ඉවර වුණා ම යන්න වෙනවා වගේ ම තමයි ශක්‍ර දෙවියන් ටත්, මාරයා ටත් තමන් ගේ ආයුෂ ඉවර වුණා ම එයින් නික්මිලා යන්න වෙනවා. හැබැයි ඒ ආයුෂ කියන්නේ අපේ වගේ අසූවක් සීයක් වගේ නෙවෙයි සමහර විට කල්ප ගානක් වුණත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඇතුළු බුද්ධ ශ්‍රාවකයෝ සත්වයාගේ සසර කෙටි කරන්න උත්සහ කරන අතරෙ ම මාරයා උත්සහ කරන්නේ සත්වයා සසරින් එතෙරවෙන එක වළක්වන්නයි.

සමහරු කියනවා මේ මාරයා කියන්නේ සංකල්පයක් කියලා. ඒ වුණත් ඒක වැරදියි. එහෙම කියන්නේ ඇයි දන්නවද? වරක් බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සීහනාද සූත්‍රයේදි දේශනා කරනවා "මහණෙනි මෙලොව මාර බලය තරමට දුක සේ මැඩලිය යුතු වෙනත් බලයක් බුදු ඇසට නොපෙනේ" කියලා. ඒ වගේ ම "අධිපති බව දරන්නවුන් අතරින් මාරයා ම අග්‍ර වෙනවා " කියලත්. ඒ වගේ විවිධ බුද්ධ දේශනා විමසලා බැලුවම මාරයා කියන්නේ සංකල්පයක් නෙවෙයි කියන එක තහවුරු වෙනවා.

සිදුහත් කුමාරයා අනාගතයේ බුද්ධත්වයට පත් වෙන බව කලින් ම දැක්ක මාරයා ඒක වළක්වන්න උත්සහ කළේ සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරද්දිමයි. තව දවස් හතකින් අනිවාර්යෙන් ම සක්විති රජ වෙන බවත් එවිට හිමාල කන්ද රන් බවට පරිවර්තනය කරලා දෙන්නත් පුළුවන් කියලා මාරයා පොරොන්දු වෙනවා සිදුහත් කුමාරයා බුද්ධත්වයට උත්සහ නොකරනවා නම්! ඒ වගේ ම තණ්හා, රතී, රගා කියන මාර දූවරුන් ගේ කතාවත් අහලා ඇති නේ. ඊළඟට ආයෙත් උත්සහ කරනවා දුෂ්කර ක්‍රියා කරන කාලයේ දී. සිදුහත් තවුසා බුද්ධත්වයට පත් වෙන්න කලින් දවසේ මාරයා ඒකට බාධා කරන්න මහා සුළඟක්, සැඩ පහරක්, පර්වත වර්ෂාවක්, අවි වර්ෂාවක්, අළු වර්ෂාවක්, වැලි වර්ෂාවක්, ඝන අඳුරක් මැව්වා වුණත් බෝධිසත්වයන්ට වත් ශ්‍රී මහා බෝධියටවත් කිසිම හානියක් කරන්න පුළුවන් වුණේ නෑ. පූජාවලියේ ඔය ගැන ලස්සන විස්තරයක් තියෙනවා.

මාරයා බුරජාණන් වහන්සේ ට විවිධ විදියට බාධා කරලත් තියෙනවා. එක එක විදියේ බ්‍රාහ්මණයෙක් , ගොවියෙක්.... වගේ වෙස් මවාගෙන ධර්මය දේශනා කර තැන් වලට ඇවිත් බාධා කරනවා, ධර්මය අහන අයගේ අවධානය කැඩෙන විදියට. මාරයා බුදුරජාණන් වහන්සේ ට විතරක් නෙවෙයි රහතන් වහන්සේලා ටත් බාධා කරනවා. එක වරක් මුගලන් මහ රහතන් වහන්සේ ට දරුණු උදරාබාධයක් වැළඳුනා. උන් වහන්සේ ඒ ගැන සොයා බලද්දී මාරයා කුස තුළට රිංගලා පෙරළි කරනවා. මුගලන් මහ රහතන් වහන්සේ මාරයා ට මෙහෙම කියනවා. "බුද්ධ ශ්‍රාවකයන් ට කරදර කරලා තවත් සසර දික කරගන්න ද හදන්නේ, මමත් පෙර භවයක දුසී නමින් මාරයෙක් වෙලා ඉපදිලා සිල්වතුන් ට කරදර කරලා බොහෝ පව් රැස් කරගෙන නිරයේ ගොඩාක් කාලයක් දුක් වින්දා " කියලා. මාරයා එතනින් ඉවත් වෙලා යනවාත් එක්කම උදරාබාධයත් හොඳ වුණා.

මතකයිනේ බුද්ධ පරිනිර්වාණයට කලින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ ට 16 වරක් ම මතක් කරනවා ආරාධනා කලොත් උන්වහන්සේට කල්පයක් වුණත් වැඩ වසන්නට හැකියාව තියෙනවා කියලා, ඒත් ඒ හැමවෙලාවකම මාරයා ආනන්ද ස්වාමින් වහන්සේගේ සිතට බලපෑම් කරලා ඒ ඉල්ලීම කරන්න අමතක කරවනවා. එහෙමත් කරලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ට පිරිනිවන් පාන්න ආරාධනා කරනවා වගේ ම බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනා පිළිගන්නවා. සෝවාන් ඵලයත් සාක්ෂාත් කළ ආනන්ද ස්වාමින් වහන්සේට බලපෑම් කරන්න මාරයා ට පුළුවන් නම් මාරයා සුළුපටු කෙනෙක් නෙවෙයි නේද?

කොහොමත් දුසිල්වත් අයට මාරයාගෙන් හිරිහැරයක් නෑ, ඒ අය ව ආරක්ෂා කරන ගමන් ම ඒ වගේ වැඩට තවත් යොමු වෙන්න පරිසරය සකස් කරලා දෙනවා. පිනට, පින් සිත ට තමයි මාරයා හිරිහැර කරන්නේ. යහපත් දේවල් වලට බොහෝ සේ බාධා කරන්නේ, දැන් බෑ, පස්සේ වෙලාවක කරනවා, ඊළඟ පෝයට ම සිල් සමාදන් වෙනවා ආදී වශයෙන්! මාරයා කැමතියි මේ ලෝකේ නරක වැඩ කරන ප්‍රමාණය වැඩි වෙලා හොඳ දේවල් කරන අයගේ ප්‍රමාණය අඩු වෙනවා නම්. ඒකට හේතුව එතකොට තමන් ට ඕන විදියට ලෝකය හසුරුවා ගන්න පහසු වෙන එකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මිනිස්සු යහමගට ගන්නවට මාරයා බාධා කරන්නේ. ඒ කාලෙට හොඳ මිනිස්සු ප්‍රමාණය වැඩි වෙලා නරක අඩු වෙනවා වගේ ම ලෝකය මාරයාගේ වසඟයේ පවත්වාගන්නත් අමාරු වෙනවා.

අද නවම් පෝය නිසයි මේ වගේ වෙනස් දෙයක් දාන්න හිතුණේ! කලින් පෝයවලට දැම්ම පෝස්ට් බලනවා නම් මෙතනින් ගිහින් බලන්න. සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙතින් අගසව් තනතුරු ලැබීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිද්ධ වුණ පෝය දිනයක් මේ. නිවනින් මෙහා මාර බලපෑමෙන් මිදෙන්න බැරි වුණත් පෘථග්ජනයෙක් නොවී ප්‍රමාද නොවී මේ බුදු සසුනෙදි ම ආර්ය ශ්‍රාවකයෙක් වත් වුණොත් ටිකක් හරි රැකවරණයක් තියේවි යාළුවනේ!


ෆොටෝ එක ගත්තේ : http://apisinhalanews.blogspot.com/2011/10/blog-post_6077.html

24 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අපි නොදන්න EPF...!



ගොඩක් දෙනා වැටුප අඩු වුණත් රජයේ සේවයට කැමති වෙන්නේ විශ්‍රාම ගත්තට පස්සේ ලැබෙන පැන්සොන් එක නිසානේ. ඒ වුණත් හැමෝටම රජයේ සේවයට එකතු වෙන්න වාසනාව නෑ කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ. රජයේ සේවයට එන්න ඉස්සර නම් ඕන වුණේ බුද්ධිමත්/උගත්කමයි, හැකියාවයි තමයි, ඒත් ලංකාව දියුණු වෙන්න වෙන්න ඒකට තවත් දේවල් එකතු වෙලා තියෙන බව පේනවා. දේසපාලුවන් ට කඩේ යෑමේ හැකියාව, සල්ලි මිල මුදල් විසි කිරීමේ හැකියාවා, ඕනෑම ආකාරයක අල්ලස් දීමේ හැකියාව වගේ වටිනා කියන අංග රාජ්‍ය සේවයේ ගුණාත්මක බව ඉහළ දැමීමට දැන් භාවිතා වෙනවා.

රජයේ සේවකයන් ට විශ්‍රාම වැටුප වගේම පුද්ගලික අංශයේ සේවකයන් ට සැනසීමකට තියෙන්නේ EPF එකනේ. ඒත් ගොඩක් අය අවධානය යොමු කරනවා අඩුයි මේ ගැන. ඒ නිසා ම ගොඩක් වංචා, දූෂණ නම් සිද්ධ වෙන බව පේන්න තියෙනවා. අන්තිම සෙමෙස්ටර් එකේ සබ්ජෙක්ට් එකක් තිබුණා අපිට HRM ගැන. ඒකෙදි දැන කියාගත්ත දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මම දන්න විදියට මේ බ්ලොග් අවකාසේ ඉන්න ගොඩක් අයත් වැඩ කරන්නේ පුද්ගලික අංශයේ නිසා ගොඩක් අයට වැදගත් වේවි කියලා හිතනවා.

පුද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා සුරක්ෂිත භාවය ගැන අණ පනත් ගොඩක් තියෙනවා. ඒකෙදි ගොඩාක් ම වැදගත් වෙන පනතක් තමයි කාර්යාල සහ කඩ සාප්පු පනත. සිංහලෙන් කියනවා නම් Shop & Office Act. කර්මාන්ත ශාලා වල වැඩ කරන අය ඇරෙන්න සාමාන්‍ය පුද්ගලික සේවකයන් මෙමඟින් ආවරණය වෙනවා. අපි ලේසියට EPF කියලා කිව්වට ඒකේ ආකාර තුනක් තියෙනවා.

1. EPF (Employees' Provident Fund)- සේවක අර්ථසාධක අරමුදල
2. EPF (Employee's Trust Fund)- සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල
3. Gratuity- පාරිතෝෂික දීමනා

අපි බලමුකෝ මේවා වෙන වෙන ම අරගෙන,කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා.

1. EPF -සේවක අර්ථසාධක අරමුදල…


මේ මුදල තැන්පත් වෙන්නේ වෙන්නේ සේවකයා සහ සේවා යෝජකයා ගේ ඒකාබද්ධ අරමුදලක් විදියටයි. මෙහිදී සේවකයාගේ මුළු වැටුපෙන්, ඒ කියන්නේ Net Salary එකෙන් 8% ක් සහ සේවා යෝජකයාගෙන්, සේවක වැටුපෙන් 12% ක මුදලක්,ඒ කියන්නේ සම්පූර්ණයෙන් ම 20% ක් EPF අරමුදලට බැර වෙනවා. උදාහරණයක් කිව්වොත් රු 40,000 ක මුළු වැටුපක් ලබන සේවකයෙකු ගේ EPF අරමුදලට මාසය අන්තිමේට රු 8,000 ක් බැර වෙන්නෝන. කෙනෙක් පුද්ගලික අංශයේ සේවයට බැඳුනා ම සේවා යෝජකයා අනිවාර්යෙන් ම ඔහු වෙනුවෙන් EPF ගිණුමක් ආරම්භ කරන්න බැඳිලා ඉන්නවා. ඒ නිසා හැමෝ ම විමසිලිමත් වෙන්නෝන තමන් වෙනුවෙන් ගිණුමක් ආරම්භ වෙලා තියෙනවද කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවේ තමයි මේ සියළුම මුදල් තැන්පත් වෙන්නේ.

දැන් අපි බලමුකෝ මුදල් මේ විදියට තැන්පත් වුණේ නැත්තම් මොනාද වෙන්නේ කියලා. තමන් ට ගිණුමක් ආරම්භ වෙලා නැත්තම් අපිට පුළුවන් මේ ගැන කම්කරු කොමසාරිස් ට පැමිණිලි කරන්න. එතකොට අනිවා හොයලා බලනවා, ගොඩක් කල් පහු වෙලා නම් සේවා යෝජකයාට දඩ නියම කරන්නත් හැකියාව තියෙනවා. අපි හිතමු මාස ගානක් යනකල් ගිණුමට මුදල් යවලා නෑ කියලා. එතකොටත් කම්කරු කොමසාරිස් ට පැමිණිලි කළා ම මාසෙකට 5% ගානේ අධි භාරයකුත් එක්ක ම අදාළ මුදල් ගෙවන්න සේවා යෝජකයාට සිද්ධ වෙනවා. එහෙමත් නැත්තම් අවුරුදු ගාණක් ම හිතාමතා ම EPF ගෙවන එක පැහැර හැරලා නම් සේවකයාගේ 8% ත් එක්කම සම්පූර්ණ 20% ක මුදල ම සේවා යෝජකයා ට තනියෙන් ගෙවන්න සිද්ධ වෙනවා. දරුණුයි නේද වැඩේ!

පුද්ගලික අංශයේ සේවකයන් ට B card එක හරි ම වැදගත් දෙයක්. මොකද EPF හිමිකම ඔය කාඩ් එක මත රැඳිලා තියෙන නිසා. කාර්යාල සහ කඩ සාප්පු පනත මඟින් ආවරණය වෙන හැම සේවකයාට ම B card එක තියෙන්න ඕන. ඒකට තමන් සේවය කරන ආයතනය කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. ( හැම පුද්ගලික ආයතනයක් ම අනිවා කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕනා.) ලියාපදිංචි කළාට පස්සෙ ඒකේ ඉන්න හැම සේවකයා ම ලියාපදිංචි කරන්න ඕන සේවා යෝජකයා විසින්. එතකොට කම්කරු දෙපාර්තමේන්තුව එවනවා B card එක සේවා යෝජකයාට. අපි ආයතනයෙන් ඉවත් වෙලා යද්දි අනිවාර්යෙන් ම B card එක ඉල්ලගෙන යන්න ඕන ඊළඟ ආයතනයට දෙන්න. එතකොට තවත් EPF ගිණුමක් ආරම්භ නොකර පරණ එක ම දිගට ම පවත්වාගෙන යන්න පුළුවන්. අනිත් එක B card එක නිසා අපේ EPF හිමිකම ලේසියෙන් ම තහවුරු කරන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් ආයතනයකින් අයින් වෙලා යද්දි EPF මුදල් අතට ලැබෙන්නේ නෑනේ. ඒ වුණත් එහෙම ගන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා.

1. පිරිමි නම් අවු 55 දි සහ ගැහැණු නම් අවු 50 දී සේවයෙන් විශ්‍රාම යෑමේදී
2. නැවත නො එන අරමුණින් පිටරට පදිංචියට යෑමේදි
3. කාන්තාවක් නම් විවාහයේ දී
4. පූර්ණ ආබාධිත තත්වයකදී
5. රජයේ රැකියාවකට මාරු වීමේදී

කියන අවස්ථා වල අදාළ ලියවිලි මඟින් සනාථ කරලා මුදල් අතට ගන්න පුළුවන්. පෙන්ෂන් එකත් එක්ක බලද්දි නම් EPF, ETF, Gratuity අවස්ථා අවාසිදායකයි. ඒ ඇයි කියලා සහ ETF, Gratuity ගැන තියෙන කතන්දර ඊළඟ ලිපියෙන් දාන්නම්, මේ ලිපිය දිග වැඩි වෙන ලයින් එකක් පෙනෙන නිසා....අමාරුවෙන් කියවන්නත් එපැයි නේද! ඔයාලට මේ ගැන මොනාහරි ගැටළු තියෙනවා නම් අහන්න මම පුළුවන් විදියට උත්තර හොයල දෙන්න උත්සහ කරන්නම්. ඒ වගේ ම මේ ගැන ඔයාලාගේ අදහස් එහෙමත් පහලින් කුරුටු ගාලා යන්න වෙලාවක් තියෙනව නම්. ඊළඟ ලිපියට මට ඒක උදව්වක් වේවි....

28 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !