Radar (රේඩාර් ) නැති කාලේ ප්ලේන් ආව හැටි....




මට ඊ මේල් එකකින් ආව ඡායාරූප ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා. ඒකේ තියෙන්නේ රේඩාර් තාක්ෂණය හොයාගන්න කලින් කොහොමද ගුවන්යානා හඳුනාගත්තේ කියලා. බලන්නකෝ කොහොමද කියලා, හිනායනවා නේද? හැබැයි ඉතින් මේ විදියටවත් බලන්නේ නැතුව සතුරු යානයක් ඇවිත් බෝම්බ දාලා ගියොත් එපා කියන්නයැ...
ඒ නිසා මේක ඒකාලේ හැටියට ලොකු තාක්ෂණයක්. ඊට කලින් කියලා ඉන්නම්කෝ මේ රේඩාර් කියන්නේ මොකක්ද කියලා. රේඩාර් කියන්නේ චලනය වන හෝ නිශ්චල ව තියෙන වස්තූන් දුර ඉඳන් හඳුනාගන්නා ක්‍රමයක්! උදාහරණයක් කිව්වොත් ගුවන් යානා,නැව්, මෝටර් රථ, මිසයිල වගේ දේවල්. මේ සඳහා යොදාගන්නේ විද්‍යුත් චුම්බක කිරණ, විශේෂයෙන් ම රේඩියෝ තරංග. ඇන්ටෙනාවක් හරි ඩිෂ් එකකින් හරි නිකුත් කරන රේඩියෝ තරංග අදාළ වස්තුවේ ගැටිලා පරාවර්තනය වන කිරණය නැවත ග්‍රහණය කරලා ඒ පිළිබඳ ව යම් යම් ගණනය කිරීම් කරලා අදාළ වස්තුවේ පරාසය, වේගය, දිශාව, උස වගේ දේවල් පහසුවෙන් ම නිර්ණය කරන්න පුළුවන්. A/L වලට Science කළ අයට නම් Physics වල ඩොප්ලර් ආචරණය මතක් වෙනවා ඇති නේද? දෙවෙනි ලෝක යුද්ධ කාලේ ඇමෙරිකානු හමුදාව තමයි මේ තාක්ෂණය ගොඩක් දියුණු කරලා ගත්තේ සතුරන්ගේ ඔත්තු බලන්න. දැන් නම් මේ තාක්ෂණය ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා අමතර ව traffic පාලනය කරන්න, ප්‍රති මිසයිල පද්ධති වලට, ගුවන් ආරක්ෂක පද්ධති වලට වගේ දේවලටත්. මම හිතන්නේ දැන් ඇති වගේ නේද කියෙව්වා මේ ගැන, තවත් කිව්වොත් නම් එපා වෙයි. එහෙනම් ෆොටෝස් බලන්නකෝ....















කොහොමද වැඩේ... මරු නේද? එහෙනම් මේ ගැන මොනාහරි කියලා යන්නත් අමතක කරන්න එපා හොඳද!

9 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Notepad එකෙන් RAM එක Clean කරන්න.....



අපේ පරිගණකයේ වේගයට බලපාන ප්‍රධාන උපාංගයක් තමයි RAM එක කියලා කියන්නේ. RAM එක කියන්නේ තාවකාලික මතකයක්, ඒක විදුලිය මත රඳා පවතිනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අපි ගොඩාක් වෙලාවක් පරිගණකයත් එක්ක වැඩ කරද්දී, ඒ කියන්නේ අපි එක දිගට පරිගණකය පාවිච්චි කරන තරමට RAM එක මත තැන්පත් වෙන දත්ත ප්‍රමාණය වැඩිවෙනවා. ඒ හා සමානුපාතික ව පරිගණකයේ වේගයත් ටික ටික අඩුවෙනවා. ඒක සමහර වෙලාවට දැනෙන තරමකට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක රඳා පවතින්නේ තමන් පරිගණකයේ කරන්නේ මොන විදියේ වැඩද කියන එක මතයි. ඒ නිසාම මම හිතුවා ලේසියෙන් ම RAM එක clean කරගන්න විදියක් කියලා දෙන්න. හැබැයි මේ දේ කරන්න software එහෙමත් තියෙනවා හොඳද! (උදා: Ram Cleaner 6.7). ඒත් ඊට වඩා ලේසියෙන් අපිට මේ විදියට RAM එක clean කරගන්න පුළුවන්.

1. ගන්න Notepad එකක්.

2. Type කරන්න මේ විදියට(quotes නැතුව ). "FreeMem=Space(10240000000)"

3. Save කරන්න “CLEANER.VBS" කියලා (quotes නැතුව )ඔයා කැමති තැනක.

4. ඔයාගේ RAM එක 512MB නම් 1024 වෙනුවට 512 replace කරන්න. 2GB නම් 2048 replace කරන්න.

5. දැන් Save කළ තැනට ගිහින් file එක Run කරන්න.

වැඩේ හරිගියාද කියලා Comment කරලා යන්නත් අමතක කරන්නෙපා හොඳද!

9 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අපේ රැග් සීසන් එක...



මම මේ කියන්න යන්නේ රැග් සීසන් එක ගැන කතාවක්. මේක මට මතක් වෙන්න හේතුව තමයි අපේ කැම්පස් එකට අළුතින් බැජ් එකක් මේ ළඟදි ගත්ත එක. කැම්පස් එකක රැග් සීසන් එක කියන්නේ මාර ම ජොලි කාලයක්නේ. ජූනියර්ස් ලාට කෙසේ වෙතත් සීනියර්ස්ලට. රැග් සීසන් එක විඳින කාලේ ඒක කොයිතරම් කට්ටක් උනත් පස්සෙ කාලෙක මතක් කර කර මැරෙනකල් හිනාවෙන්නේ ඒ දවස්වල එක එකාට වුන දේවල් කියකිය. හැමෝටම කියන්න දේවල් මොනාහරී තියෙනවනේ. ඒ නිසා ම රැග් සීසන් එක ගැන රස කථා ගොඩයි. ඒත් දැන් දැන් රැග් එක කියන එක අතීතයට එකතු වෙන දෙයක් වේගන එනවා වගේ පේනවානේ, හැබැයි ඒ ගැන නම් එක එක්කෙනාට විවිධ ආකාරයේ මත තියෙන්න පුළුවන්. මොකද ඔය සුන්දර මතකයක් වෙන්නෝන රැග් එක එක එක්කෙනාගේ පටු අරමුණු වෙනුවෙනුත් සමහර වෙලාවට යොදාගන්න නිසා.

මේක අපේ බැජ් එකේ කෙල්ලෙකුට වුන දෙයක්. ඒ දවස්වල කෙල්ලෝ කොල්ලෝ කියලා භේදයක් නෑ, සීනියර්ස්ලා ට පණ බයයිනේ. අපිට තිබුණ මොනාහරි ප්‍රෝග්‍රෑම් එකක් අතරතුර දුන්න ඉන්ටර්වල් එකකදි කෙල්ලෙක් එලියට ගිහින් එන අතරතුරදි සීනියර් අයියා කෙනෙක් හම්බ වෙලා, මෙහෙමයි දෙබස...

සීනීයර්: තෝ කොහෙද ගියේ?

ගැහැණු ළමයා: ටොයිලට් එකට ගියා ජ්‍යෙෂ්ඨ උත්තමයා...

සීනියර් : ඈ... තොගේ කඩ්ඩ නේද? මෙච්චර දවසක් තොපිට ඕකද කියලා දුන්නේ?

ගැහැණු ළමයා: සොරි ජ්‍යෙෂ්ඨ උත්තමයා!!!!!!!!!!!

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අද මම එද්දි දැක්කනේ මාර ලස්සන කෙල්ලෙක්....



අද මම එද්දි දැක්කනේ මාර ලස්සන කෙල්ලෙක්.... හරියට නිකම් xxxx වගේ, ආයේ කියලා වැඩක් නෑ. මම දැක්කමයි ඒතරම් ලස්සන කෙල්ලෙක්!!!! අපි ඕනතරම් එහෙම කියලා ඇති නේද? ඒ වගේ ම ඕන තරම් ඇහිලත් ඇති. අපි පාරේ තොටේ එහෙ මෙහේ යද්දී අපි දකිනවානේ කොහොමත් එක සැරයක් දැක්කම ආයේ සැරයක් හැරිලා බලන්න තරම් හිතෙන ලස්සන ගැහැණු ළමයි. සමහරු සුදුයි, තළෙළුයි, උසේ හැටියට මහත, පිරිපුන් අඟපසඟ... තවත් අය කළුයි ඒත් හරි ප්‍රියමනාප ගතියක් තියෙනවා. ඒ කිව්වේ ගැහැණු ළමයින් ගේ රූමත් කම ගැන. පිරිමි අයත් ඉන්නවනේ අපි අතර කැපී පෙනෙන ලස්සනක් තියෙන අය. හරියට නිකම් අර අහවල් නළුවා වගේ කියලා කියන. ඒ වගේ ම තමයි ගැහැණු පිරිමි භේදයක් නැතුව ම එතරම් දැක්කම ප්‍රියමනාප ගතියක් නැති අයත් අපි අතරේ ඉන්නවානේ.....

කොහොමද මේ ලෝකේ ඉන්න සමහර අය ලස්සන වෙලා තවත් සමහරු කැත වෙන්නේ???? ප්‍රශ්නයක් නේද? ඒකට හේතුව තමයි මේ පැහැදිලි කරන්න හදන්නේ. මේ ලෝකේ ජීවත් වෙන සමහර මිනිස්සු ඉන්නවා නිතරම ඉන්නේ තරහින්, ඒ වගේ ම පොඩි දේටත් තරහ ගන්න බලාගෙන ඉන්නේ. අපි කියන්නේ හොස්ස ලඟින් මැස්සා යන්න බෑ කියලා! හැම වෙලේ ම හිතේ තද ගතියෙන් ඉන්න ඒ අය ඒ නිසා ම හැමවෙලේම ජීවත් වෙන්නේ සිත්තැවුලෙන්. ඒ නිසා එයාලා රැස්කර ගන්න කර්ම විපාකයෙන් මරණින් පස්සේ ගොඩාක් දුක් සහිත අපායේ ඉපදෙනවා. බැරිවෙලාවත් මිනිස් ලෝකේ ඉපදුනොත් දුර්වර්ණ වුන කැත රූපයක් එක්ක ඉපදෙනවා.

ඒ වගේ ම තවත් සමහර මිනිස්සු ඉන්නවා පොඩි දේකටවත් තරහා ගන්නෙ නෑ, එහෙනම් ලොකු දේවල් ගැන මොන කතාද? අඩුම තරමේ අසතුටු බවක්වත්, තරහා ගත්ත බවක් වත් පෙන්නන්නේ නෑ. අනිත් අය කරන වැරදි වලට සමාව දෙන ගමන් ම හැමෝටම මෙත් සිතින්මයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ අය කරන කර්මය නිසා ම මැරුණාට පස්සේ සැප ඇති දිව්‍යලෝකයේ ඉපදෙනවා, හෙමත් නැත්තම් මිනිස් ලෝකෙ ඉපදුනොත් ඉතාම ලස්සන සිත් ඇදගන්නා සුළු රූපයක් සහිත කෙනෙක් වෙනවා.

සමහරු කැත විදියටත් සමහරු ලස්සන විදියටත් ඉපදෙන මේ ගැටළුව ඇති වුණේ සුභ මානවකයාට. බුදුරජාණන් වහන්සේ චූල කම්ම්විභංග සූත්‍රය දේශනා කරලා ඔය විදියට ඒ ගැටළුව නිරාකරණය කරනවා. ඒ වගේම මිනිස්සු අඩු වයසින් මැරෙන්නේ ඇයි?, නිතර ලෙඩ වෙන්නේ ඇයි?, දුප්පත් ඇයි?, සමහරු තනිවෙන්නේ ඇයි?, හැමෝම බුද්ධිමත් නැත්තේ ඇයි?...ආදි වශයෙන් ගොඩාක් ගැටළු වලට හේතු උන්වහන්සේ පහදලා දුන්නා. අපිට මේ ලැබුණු ගොඩාක් දේවල් මේ විදියට ලැබුණේ අපේ පෙර කර්ම නිසානේ. අපි මිනිස් ලෝකේ ඉපදෙන්නත් ගොඩාක් ලොකු පිනක් රැස්කරලා තියෙනවා. ඉතින් අපි හිතන්න ඕන අපි කොහොමද අපේ ඊළඟ ඉපදීම සාර්ථක කරගන්නේ කියලා නේද? මොකද අපි බෞද්ධයන් විදියට පුනර්භවය පිළිගන්න නිසා. ඒ නිසා තරහා යන නරක ගතිය අඩු කරගන්න හිතාගත්තොත් කොහොමද.....පෝය දවස නිසා තමයි මෙහෙම දෙයක් ලියන්න හිතුනේ. ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ කියලත් කියලා ම යන්න අමතක කරන්න එපා!

7 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

හදවත ලෙඩ වෙන්නේ මෙහෙමයි.....



හික්ස්... හදවත් රෝග වර්ග නම් ගොඩක් තියෙනවානේ එක එක අයට එක එක කාලෙට හැදෙන. සමහර ඒව නම් දවසින් දෙකෙන් හොඳ වෙනවා. සමහර ඒවා නම් සති, මාස ගණන් ගත වෙන ඒවත් තියෙනවා. ලේසියකට හොඳ කරන්න බැරි ඒවත් තියෙනවා. මම හිතන්නේ ඊටත් වඩා සමහර හදවත් තියෙනවානේ හැමදාම ලෙඩ වෙන ඒවා. ඒවා තමයි නඩත්තුව අමාරු ම !! හැමදාම බෙහෙත්දෙන්න ඕනනේ. ඒත් මම නම් අද කියන්න යන්නේ සිරුරේ තියෙන වැදගත් ම ඉන්ද්‍රියක් වෙන හෘදය ලෙඩ වෙන්නේ කොහොමද කියලයි. බලන්නකෝ කියවලා ඔයාලාටත් වැදගත් ද කියලා.

හෘදය ආශ්‍රිත ව ඇතිවෙන ප්‍රධානතම ලෙඩක් තමයි හෘදයාබාධ කියලා කියන්නේ. ඊට ප්‍රධාන හේතුව තමයි සරලව ම ගත්තොත් හෘදයෙ හි ක්‍රියාකාරිත්වයේ යම් වෙනසක් ඇති වීමයි. ඒ දේ වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපේ ඇඟේ තියෙන අනිකුත් මාංශ පේශි ටික වෙලාවක් එකදිගට වැඩ කලා ම මහන්සියට පත් වෙනවානේ. ඒත් හදවත් එහෙම නෑ. ජීවිත කාලය පුරාවට ම මහන්සියකින් තොරව එක දිගට වැඩ කරනවා. ඒ නිසා ම හෘත් පේශි වලට සාපේක්ෂ ව තරමක් වැඩි රුධිර සැපයුමක් ඕන කරනවා. ඒ හෘත් පේශි වලට අවශ්‍ය රුධිරය ලබාදෙන්නේ කිරීටක ධමනි කියලා විශේෂිත රුධිර නාළ වර්ගයක් මඟින්. ප්‍රධාන කිරීටක ධමනි වර්ග දෙකක් තියෙනවා. ඒ ලෙවල් වලට ජීව විද්‍යාව කල අය නම් මේ ගැන හොඳට දන්නවා. මම නම් කලේ ගණන් හදපු එකනේ!!



මම අර කලින් කිව්ව කිරීටක ධමනි කුඩා වීමක් හරි පටු වීමක් හරි වුනොත් තමයි ඒ මඟින් නඩත්තු වෙන හෘත් පේශි කොටස යම් මන්දපෝෂණ තත්වයකට ලක්වෙන්නේ. මේ කිරීටක ධමනියක් දළ වශයෙන් කිව්වොත් කාබන් පෑන් කූරකට වඩා පොඩ්ඩක් ලොකුයි. මේ රුධිර නාල තුලින් කාලයක් තිස්සේ රුධිරය ගමන් කරද්දී යම් යම් හේතු නිසා ඒ තුළ ඉරිතැලීම් ඇතිවෙන්න පුළුවන්. වයසට ම යන්න ඕන නෑ, කෙනෙකුට තරුණ වයසේ දි වුනත් ඇතිවෙන්න පුළුවන් මේ තත්වය. කාලයක් යද්දි මේ ඉරිතැලීම් මත තෙල්(මේදය) තැම්පත් වීමක් වෙන්න පුළුවන්. කාලයත් එක්ක තෙල් ටික ටික එකතු වෙලා ගුලියක් බවට පත්වෙන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම මේ තෙල් ගුලිය වටකරමින් ආවරණයක් ඇතිවෙන්න පටන් ගන්නවා. එතකොට මේ ගැටය අතරින් රුධිරය ගමන් කිරීමේදී වේගය අඩුවීමක් සිද්දවෙනවා. (Physics වල තිබුණා වගේ මතකයි P1V1=P2V2 වගේ තියරියක් ). ඒ කියන්නේ වේගයට අනුව පීඩනය වෙනස් වීමක් ඇතිවෙනවා.

උදාහරණයක් කියන්නම්කෝ, හිතන්නකෝ අපි දුවනවා, ව්‍යායාම් කරනවා වගේ සිරුර මහන්සි වෙන දෙයක් කරනවා කියලා. එතකොට හෘදයට සාමාන්‍ය අවස්ථා වලට වඩා වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය ලබාගන්න හෘද ස්ඵන්දනය වැඩිවෙනවා, ඒත් එක්කම ලේ ගමනාගමනය වැඩිවීමක් සිදුවෙනවා ඊට හරියන්න. අර කලින් සඳහන් කල ආකාරයේ තෙල් ගුලියක් සහිත රුධිර නාලයකට මේ කාර්යය කාර්යක්ෂම ව කරන්න බෑ, ඒ වෙලාවට තමයි පපුවේ මහන්සිය ඇතිවෙනවා කියන්නේ. හරියටම කිව්වොත් මේ ඇන්ජයිනා තත්වයක්. මේ තත්වය විවේක ගන්නකොට අඩුවෙන්නේ හදවත නැවත් සාමාන්‍ය මට්ටමට පත්වෙන නිසයි. සමහර අයට මේ වේදනාව පපුවෙන් පටන් අරන් බෙල්ලට, උගුරට, හනු වලට, අත්වලට, කොන්දට පැතිරෙන්න පුළුවන්. මේ තත්වය නම් බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙවෙයි. මේකෙන් තේරුන් ගන්නෝන දේ තමයි අපේ කිරීටක ධමනි වල මොනාහරි ගැටළුවක් කියන එක. වහා ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවෙන එක තමයි නුවණට හුරු.


ඊළඟ අවස්ථාව තමයි තරමක් දරුණු. මොනාහරි හේතුවක් නිසා අර කලින් සඳහන් කල තෙල් ගුලිය සහිත ආවරණය පුපුරලා තෙල් තට්ටුව රුධිරයට නිරාවරණය වෙන්න පුළුවන්. අපේ ඇඟේ බාහිර තුවාලයක් ඇතිවුනාම ලේ ගැලීම නවත්වන්න ලේ කැටිගැසීමක් වෙනවා හැමෝම දන්නවානේ.(එහෙම නොවෙන එකත් එක්තරා රෝගයක් හිමෝෆීලියාව කියන! ). ඒ වගේම අර තෙල් ගැටය මතත් රුධිර කැටියක් ඇතිවෙනවා. ඒ කියන්නේ අර තෙල් ගුලිය වහලා දාන්න හැදෙන ලේ කැටිය මඟින් මෙතෙක් වෙලා බාගෙට වැහිලා තිබුණ කිරීටක ධමනිය තවදුරටත් අවහිර වෙනවා. බැරිවෙලාවත් මේ නාලය සම්පූර්ණයෙන්ම අවහිර වුනොත් ඇතිවෙන්නේ හෘදයාබාධයක්. ඒ කියන්නේ බොහෝවිට මරණීය තත්වයක්! මේ අවදානම තියෙන අයටත් කලින් අයට වගේ ම පපුවේ මහන්සිය ඇතිවෙන්න ඉඩ තියෙනවා ක්‍රියාකාරකමක් නොකර නිකම් ඉද්දිත්. ඒක තමයි මෙතනදි මතුවෙන බරපතල ම තත්වය. මොකද හැමවෙලාවෙම බෙහෙත් අතේ ම තියාගෙන ඉන්න එපැයි.

සාමාන්‍යයෙන් පිරිමියෙකුට අවුරුදු තිහ ඉක්මවනවත් එක්කම මේ අවදානම එනවා. ඊට හේතුව පරම්පරාවෙන් එන රෝගී තත්ව වගේ ම දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය හැරුණු විට දුම් පානයයි. කාන්තාවන් ටත් නම් අක්‍රිය දුම්පානයට නිරාවරණය වුනොත් මේ අවදානම තියෙනවා. දැන් දැන් විකෘති වෙමින් යන ආහාර රටාවත්, ඒ කියන්නේ ක්ෂණික ආහාර, ප්‍රමිතියෙන් තොර ආහාර වර්ග ත් මේ තත්වයට යම් තරමකින් හරි දායකත්වය සපයනවා. දන්නවද... අපි සාමාන්‍යයෙන් අවුරුද්දකට සීනී 50kg ට ආසන්න ප්‍රමාණයක් පරිභොජනයට ගන්නවා කියලා පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. කොහොමද වැඩේ!!!

මේ වේදනාව ගොඩාක් දරුණුයි කියලා මම පුද්ගලිකව ම දැකලත් තියෙනවා. ඒ නිසා ම හිතට මේ දේවල් තදින් ම හිතට වැදුනා. …ඒ දේවල් කොහොම වුනත් මේ දේවල් සම්පූර්ණයෙන් ම නවත්වන්න බැරිවුණත් උපරිම වශයෙන් පාලනය කරන්න පුළුවන් තරම් වෛද්‍ය විද්‍යාව දියුණුයි. ඒ නිසා හොඳම වැඩේ තමයි පුරුද්දක් විදියට නිශ්චිත කාලයකට සැරයක් වෛද්‍ය පරීක්ෂණයක් කරගන්න එක. ඒ වගේම නොමිලේ ම කරන්න පුළුවන් දුම් පානයෙන් වළකින එක. ඒ වගේ ම සරල අහාර රටාවකට පුරුදු වෙන එක. මේ දේවල් ක්‍රියාත්මක කරන්න හෘදයාබාදයක් හැදෙනකල් ම බලාගෙන ඉන්නෝන නෑ නේද!

ප. ලි: Google හඳුන්වලා දීලා තියෙන hidden trick එක දැක්කාද? Google ගිහින් Do a Barrel Roll කියලා type කරලා බලන්නකෝ....!

10 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !